මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය සඳහා සතියකට වරක් පරිසර අමාත්‍යාංශයේ දී පවත්වන ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී පරිසර අමාත්‍ය ඉංජිනේරු ගරු නසීර් අහමඩ් මහතා විසින් පරිසර නියාමන කටයතු තවදුරටත් ශක්තිමත් කිරීමට අද (08) උපදෙස් ලබා දෙන ලදී.
ප්‍රාදේශීය වශයෙන් පවතින පාරිසරික ගැටලු බිම්මට්ටමට ගොස් විසදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව පරිසර අමාත්‍යාංශයට සහ පරිසර අධිකාරියට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් 248 දෙනෙකු සඳහා පරිසර සංරක්ෂණය සහ නියාමනයට අදාළව දින දහයක පුහුණු වැඩමුළුවක් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව පරිසර පිළිබඳ මූලික සංකල්ප, පරිසර සංරක්ෂණය සඳහා නීතිය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, පරිසර බලපෑම් ඇගයීම සහ ව්‍යාපෘති අනුමත කිරීම, පරිසර දූෂණ පාලනය, පරිසර අධ්‍යාපනය, පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය සහ ප්‍රමිති සහ උපමාන, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රාදේශීය වශයෙන් පරිසර ආරක්ෂාව හා කළමනාකරණයේදී සිදුකළ යුතු කාර්යභාරය යන විෂයයන්ට අදාළව අගොස්තු මස 23 වැනි දා සිට වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩිවිය ඔස්සේ පාරිසරික පැමිණිලි යොමුකිරීමේ ක්‍රමවේදය කඩිනමින් වැඩිදියුණු කරන ලෙස පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ ආදායම වැඩිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජල තත්ත්ව විශ්ලේෂණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත රසායනාගාරයක් ඇති කිරීමට අවශ්‍ය යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.
පරිසර නියමු වැඩසටහන මගින් බිහිවන ජනාධිපති පදක්කම් ලාභී පරිසර නියමු සිසු සිසුවියන් පාසලින් නික්මගිය පසු පරිසර සංරක්ෂණය සඳහා ලබාදෙන දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී විමසූ අතර “පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්ගේ දිස්ත්‍රික් පරිසර සංසද” හරහා පරිසර සංරක්ෂණ කාර්යයන් වෙත ඔවුන් යොමු කර ඇති බවත් නිරන්තර ඔවුන් සමඟ සම්බන්ධවී කටයුතු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කරන ලදී.
පරිසර අමාත්‍ය ඉංජිනේරු ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999